දෙලොවක් අතර
බ්රිස්බන් නගරයේ රැකියාවක් සොයාගැනීමේ කාර්ය පටන් ගැනීමට පෙර මට වැදගත් තීරණ කිහිපයක් ගන්න සිද්ධවුනා. ගමන්/වීසා බලපත්ර අවශ්ය රැකියා වලට ඉල්ලුම් නොකිරීම මෙයින් මුල් තැන ගත්තා. මේ නිසා ස්ථිර රැකියා ලබාගැනිමේ හැකියාව සම්පූර්ණෙන්ම වගේ නැතිවී ගියා. මගේ එකම, පින්තූරය සහිත, හඳුනාගැනීමේ ලියවිල්ල වන ක්වීන්ස්ලංත් රියැදුරු බලපත්රය පාවිච්චි කිරීම මට ප්රශ්නයක් වුනේ නෑ - එහි උපන් රට සඳහන් නොවෙන නිසා. එමෙන්ම අයබදු කාර්යාල නීති රීති අනුව මගේ ඇත්ත නම පාවිච්චි කිරීම අවශ්යමයි. උපන් රට ගැන ප්රශ්නයක් පැනනැගුනොත් මම ඉන්දියානු ජාතිකයෙක් බව කීමටත් තීරණය කරගත්තා. ඔස්ට්රේලියානුවෝ බොහෝවිට ඉන්දියාවත් ලංකාවත් අතර වෙනසක් දුටුවෙ නෑ. අපි පාටෙන් සහ හැඩෙන් සමානවීම නිසා මම ඒ අතින් කරදරයක් බලාපොරොත්තුවුනේ නෑ. යම් විදිහකට ඉන්දියානු ජාතිකයෙක් හමුවී ප්රශ්න කළොත් ඔහුගේ ජන්ම ප්රදේශයෙන් ඈත පලාතකට නෑකම් කියන්න මම හිතාගත්තා. ඉන්දියාව විශාල රටක් වීම මේ ක්රියාමාර්ගයට රුකුලක්වුනා.
මම සඳුදා උදේ වරුවම ගෙව්වේ සරසවි රැකියා දැන්වීම් පුවරු ඉදිරිපිට. දැන්වීම් කරුවෝ හතර දෙනෙක් සමග ටෙලිෆෝන් සාකච්චා පැවැත්වුවත් ඒ කිසි තැනක් මට සුදුසු රස්සාවක් දෙන්න කැමැත්තක් පෙන්වූයේ නෑ. අන්තිමට ප්රයෝජනවත් දෙයක් ඇහුනේ මා සමග දැන්වීම් පුවරුව බලමින් සිටි තව සිසුවෙකුගෙන්. ඒ දකුණු බ්රිස්බන් දුම්රියපොලේ තාවකාලික පෝටර්ලා බඳවා ගන්න බවයි.
රැකියා සොයාගැනීමට කළ ටෙලිෆෝන් සාකච්චා වලින් කිසි ඵලදායක ප්රතිචාරයක් නොලැබුන නිසා මම වහාම බස් එකේ ඒ දුම්රියපොලට ගියා. මම එතන නිලධාරීන් ඉදිරිපිට පෙනී හිටියේ ඉන්දියානු ජාතික ලලිත්කුමාර මීගස්තැන්න ලෙසයි.
දුම්රිය කළමණාව ක්වීන්ස්ලංත ප්රාන්ත රජයෙන් සිද්ධවුනත් තාවකාලික පෝටර් රස්සාක් ලබාගැනීමේදී තද ආන්ඩුවේ කොන්දේසි රැසක් හරස්වුනේ නෑ. සරසවි සිසුවෝ බොහෝ දෙනෙක් ග්රීෂ්ම නිවාඩුවට මේ වගේ රැකියා වල නිරතවුන නිසා ඔවුන් මා දෙස බැලුවෙත් නිවාඩු ලැබූ සරසවි සිසුවෙක් ලෙසයි. හවස තුනට දුම්රිය නිලදාරි කන්තෝරුවෙන් මම එලියට ආවේ පසුවදා, නොවැම්බර් පළවෙනි අඟහරුවාදා උදේ 7.00ට වැඩ පටන්ගන්න එකඟ වෙලයි.
මගේ එක ප්රශ්නයකට උත්තරයක් එතනින් ලැබුනා.; ඊ ලඟ මාස තුන මුදලින් වැඩි කරදරයක් ඇතිවෙන්නෙ නෑ. ඒක මම දුටුවේ උපන් රටක් නැති විශාල ප්රශ්න විසඳාගන්න රුකුලක් හැටියටයි.
අනික් අතට මගේ ආර්ථිකය පොඩි කාලයකට හරි සතුටුදායක අතට හැරුනට මගේ සගයන්ට වෙන්නේ මොකද්ද? නීලා ඔස්ට්රේලියාවට ආවේ ශිෂ්යත්වයකින්ද දෙමාපියන්ගේ වියදමෙන්ද කියලා මම දන්නෙ නෑ. අවශ්යතාවයක් ඇතිවුනොත් නීලටත් බැරිවෙන්නෙ නෑ මට වගේ පොඩි රැකියාවක් සොයාගන්න. නමුත් මයිකල්ලගෙ ප්රශ්නේ ඊට වැඩිය භයානකයි. ශිෂ්යත්වයකින් ඔස්ට්රේලියාවට ආ නිසා ඔස්ට්රේලියානු ආන්ඩුවෙන් ලැබුන දීමනාව නැත්තටම නැතිවෙනවා. විශ්වවිද්යාලයේ සිසුවෙක් වශයෙන් තිබූ ලියකියවිලි කිසිවක් නැති නිසා මයිකල් සිසුවෙක් හැටියට පිළිගැනෙන්නෙත් නෑ. ඒ වගේම කුඩා දරුවෙකුත් සමග පවුල පිටින් මෙහි ජීවත්වීම අඩු මිලකින් කළ හැකි දෙයක් නොවෙයි.
මේ ප්රශ්න අද සවසම මයිකල් පවුලයි නීලයි සමග සාකච්චා කරන්න මම තීරණය කළා. එය කිරීමට පහසුම පියවර ලෙස මම දුටුවේ මේ අයට රෑ කෑමට ආරාධනා කිරීමයි. ආරාධනයට හේතුවක් අවශ්යනම් මට අළුත් රැකියාවක් ලැබීම පාවිච්චි කරන්න හැකි බව මට තේරුනා.
බ්රිස්බන් නගරයෙන්ම අවශ්ය බඩු මුට්ටු ටිකකුයි, කෑම බීම මල්ලකුයි කුලී රථයක පටවාගනයි මම ආපසු නවාතැනට ආවේ.
……………………
මම කවදාවත් ‘’ශොපිං’ වලට කැමති නෑ. ඒ නිසා වෙන්න ඇති දවල් දොලහ වෙනකොට වැඩ ඉවරවුනේ. අම්මටයි නංගිටයි සාරි කිහිපයක්, චොකලට්, සුවඳ විලවුන් වැනි දේ ඇරුනුකොට මිලදී ගන්න වෙන කිසිම දෙයක් මගේ හිතට ආවෙ නෑ. ඒ සමගම මල්ලිටයි මටයි ටීශර්ට් කිහිපයකුත් ගත්තා. නමුත් ගත්ත බඩුවලින් මට හොඳටම හිතට ඇල්ලුවේ මල්ලිට ගත්ත ගණකයන්ත්රයයි. බ්රිස්බන් වල මිල අධික ඒ ‘එන්ජිනියරිං කැල්කියුලේටරයට’ මම සිංගප්පූරුවෙන් ගත්තේ බ්රිස්බන් මිලෙන් අඩක් පමණ ගෙවලයි. මගේ ‘ශොපිං’ අවසානේ ගත්ත බඩු දාගෙන යන්න මල්ලකුත් ගත්තේ “ඒ වැඩෙත් ඉවරයි” කියලා හිතමිනුයි.
මම ආපසු හෝටලේට එනකොට වෙලාව දවල් එකයි. ඒ කියන්නේ බ්රිස්බන් වල හයයි.
……………………….
“මම බතුයි හරක් මසුයි පරිප්පුයි හැදුවා සේරටම ඇතිවෙන්න… තව මොකවත් ඕනද?”
හොඳ වෙලාවට මෙහෙ ඉන්දියානු මිනිස්සු ඉන්නේ - හාලුයි පරිප්පුයි සොයා ගන්න මට අමාරු වුනේ නෑ. නීලා මගෙ කෑම මේසේ ලඟ වාඩිවෙලා තේ එකක් බොන ගමන් මගේ කතාව අහගෙන හිටියේ.
“හතට නේද මයිකල් පවුල එන්නේ? මට පුළුවන් සලාදයක් හදන්න - කාමරේ අවශ්ය සේරම තියෙනවා… පොඩි එකාට දෙන්න කෙසෙල් ගෙඩියක්වත් තියෙනවද?”
“ශා… මට ඒක අමතකවුනා… මං හිතුවේ බිස්කට් දුන්නොත් ඇති කියලා… නැත්නම් පාන් තමා…”
“මගෙ කාමරේ කෙසෙල්ගෙඩි තියෙනවා… සලාදෙත් හදාගෙන, ඒකත් අරගෙන මම එනවා විනාඩි තිහකින්… ඒ ගොල්ල එන්න විනාඩි දහයකට ඉස්සර”
“තැන්ක්යූ!”
නීලා ගිය වහාම මම දවසේ දහඩිය සෝදාගෙන නෑවා. පිරිසිදු ඇඳුම් ඇඳගෙන, කෝපි කෝප්පෙකුත් හදාගෙන මම බැල්කනියේ වාඩිවුනේ හවස සිද්ධ වියයුතු සාකච්චා ගැන සිතා බලන්නයි.
මම ඊලඟ මාස තුන ආර්ථික අතින් සුරක්ෂිතයි. උදේ හතත් සවස තුනත් අතර දුම්රිය සේවයේ රැකියාවෙන් ලැබෙන වැටුප මට හොඳටම සෑහෙනවා. අතිකාල දීමනා නිසා සති අන්තයේ එක දවසක් හෝ වැඩ කළොත් වැටුප වඩාත් හොඳයි. කාගෙවත් සිත නොරිදවා අනික් අයගෙ ආර්ථික තත්ව ගැන විමසන්න හොඳම ක්රමය මගේ තත්වය අවංකව පළමුව ඉදිරියට දැමීමෙන් කියලා මට හිතුනා. අද රෑ කෑමට හමුවීම එයට හොඳම අවස්ථාව බව මට විශ්වාසයි. සමහරවිට එවැනි අවස්ථාවක් නැවත නොලැබෙන්න ඉඩ ඇති බවත් මට හිතුනා.
මයිකල්ගෙනුයි නීලගෙනුයි ‘නැතිවී ගිය උපන් රට’ ප්රශ්නය ගැන දැනට සොයාගෙන ඇති දේ ගැන විමසා බලන්නත් මම සිතාගත්තා. ඒ ප්රශ්නය ගැන කිසි දෙයක් නොකළ මා ඒ ගැන කතාකිරීම මයිකල්/නීලා දෙන්නට සම්පූර්ණෙන්ම භාරදීම සුදුසුයයි මම පිළිගත්තා. ඒ වගේම අපේ ප්රශ්න විසඳීමට කිරිබති-ලංකා සහයෝගය අව්ශ්ය බව සියල්ලන්ට ඒත්තුගැන්වීම මා කළයුතු දෙයක් බව මට වැටහුනා.
සිතිවිලි වලට යටවී සිටි මම තිගැස්සී පුටුවෙන් නැගිට්ටේ දොරට තට්ටු කරන සද්දය ඇහිලා.
මයිකල් පවුල හිතුවටත් කලින් ඇවිල්ලා!
“එන්න එන්න… මයිකල්, කලේලා… කොහොමද කියොකි?”
මට පෙන්වන්න ඕනවුනේ තවම නම් අමතක නැතිබව.
“සොරි අපි ටිකක් කලින් ආවට ලලිත්… කතාකරගන්න හුඟාක් දේවල් තියෙනවා”
“ඒක ඇත්ත… වාඩි වෙන්න වාඩිවෙන්න… අපි කතා කරන්න ඉස්සර මොකවත් බොමුද? වතුර උනුවෙලා තියෙන්නේ - තේ? කෝපි? බීර?”
අපි කෑම මේසේ ලඟ වාඩිවුනේ කෙලේලට තේ එකකුත්, කියොකිට කෙලේලා ගෙනා පලතුරු බීමකුත් මයිකල්ටයි මටයි බීර දෙකකුත් අරගෙනයි. මට හිතුනා පළමු උගුරත් එක්කම මගේ රැකියාව ගැන කියන්න.
“මේකයි මගෙ අළුත්ම ප්රවුර්තිය… අද මට රස්සාවක් හම්බවුනා දුම්රියපොලේ පෝටර් කෙනෙක් හැටියට!”
“ශඃ නියමයි නේ… අපිත් බලන්න වෙනවා…”
මයිකල්ගෙ කතා ශබ්දය ක්රමයෙන් අඩුවී ගියා. පවුලේ ආර්ථික කරදර අමුත්තෙක් එක්ක බෙදා හදා ගන්න අමාරු මාතෘකාවක්. මම වහාම කතාකරන්න පටන් ගත්තේ මගේ ආර්ථික කරදර මුළ් කරගෙනයි.
“මේකයි මයිකල් වැඩේ. ආදායමක් නැතුව මට ජීවත්වෙන්න බෑ. මම ඔස්ට්රේලියාවට ආවේ අපේ ඉඩමක් විකුනලා ඒ සල්ලි වලින්. ඒ කියන්නේ බැංකුවේ ඉතිරිවෙලා තියෙන්නේ බොහොම ටිකයි - ඊයේ ආපහු යන්නනේ හිටියේ!”
මයිකල් කතාකළේ ඉතා හෙමින්.
“…මට ආයෙ ශිෂ්යත්ව සල්ලි නෑ…”
“මට තේරෙනවා මයිකල්. ඇයි හෙට උදේ මාත් එක්ක එන්නෙ නැත්තේ හතට? මේ දවස්වල එතන වැඩ තියෙනවා ඕන තරම්… අනික අපෙ අනික් ප්රශ්න විසඳෙනකම් යුනිවසිටිත් නැ නේ…”
මයිකල්ගෙයි කෙලේලගෙයි හිනාවෙන් මට පෙනුනා ඒක හොඳ අදහසක් කියලා දෙන්නා හිතන බව. මගේ හොඳ වෙලාවට ඒ දෙන්නගෙ හෘදයාංගම ස්තුති කතා වලට බාධා කරමින් නීලා දොරට තට්ටු කළා.
“මේ සලාදේ ගන්නවද? මම ගිහින් ටක් ගාලා පලතුරු ගෙනෙන්නම්. සොරි වෙලා ගියාට… මයිකල්ලා ආවද?”
නීලා සලාදේ මට දීලා ආපහු ගියේ මම කිසි දෙයක් කියන්න ඉස්සර. මම කුස්සියට ආවේ සලාදෙත් අරගෙන.
“ඒ නීලා… එයත් ඉන්නේ මේ බිල්ඩිමේ. රෑ කෑමට සලාදෙකුත් හදලා. තව ටිකකින් එයි… මයිකල් තව බීර ටිකක්?”
……………………….
කෑම මේසේ වටා උනුසුම් සාකච්චා වලට වඩා තිබුනේ නිහඬ තාවයක්. හැමෝම තමතමාගේ පෞද්ගලික සිතුවිලි මාලාවල පැටලිලා. ඒ වෙලාවේ මට තදින්ම දැනුනේ පසුබිමේ සිංදු නැති පාළුවයි.
මගේ මතකේ හැටියට සාර්ථක රෑ කෑමක් සම්පූර්ණ වෙන්නේ පසුබිම් සංගීතයෙන්. නන්දා මාලිනිත් අමරදේවත් සී ටී ප්රනාන්දුත් වගේම නව පරපුරේ මූන්ස්ටෝන්ස් වැනි කන්ඩායම් ගීතත් මම ආශාවෙන් රස වින්දා ඔස්ට්රේලියා එන්න පෙර. එනකොට ගෙනා ලංකා කැසට් කිහිපේ අතුරුදහන් වුනේ අපේ රටත් සමගයි. මට පුදුම හිතුනේ පවුලත් රටත් අහිමිවූ මම සංගීතය ගැන හිතන්නේ ඇයි කියලා. නැවතත් කතාව පණගන්වන්න ඒ සිතුවිල්ල සෑහුනා.
“දැන් මගෙ හිතට ආ යමක් බෙදා හදා ගත්තට කමක් නැද්ද?”
“සොරි ලලිත් … මග් හිත වෙන ලෝකෙක හිටියේ!”
“ගාණක් ගන්න එපා මයිකල්… මේවා වෙනදා වගේ දවස් නෙවෙයි… මගෙ හිතට ආවේ මේකයි… දැන් අපි දන්න තරමට අපි පස්දෙනා විතරයි මේ අපායේ වැටිලා ඉන්නේ. ඒ නිසා අපි එකට වැඩකරන්න ඕනෑ. එකිනෙකාට උදව් කරන්න ඕනෑ - ඕනෑ එපාකම් බලන්න ඕනෑ… එක පවුලක් වගේ… “
පළමුවෙන්ම කතාකළේ කෙලේලා.
“ඒ අදහස මම ස්ථිර කරනවා… මගෙ ආච්චිගෙ පටන් අක්කගෙ පොඩ්ඩෝ දක්වා අපි විශාල පවුලක්. ලේ නෑයෝ නොවුනත් අපි අවට ගෙවල්වල අයත් එක්කත් එකට ජීවත්වුනේ පවුලේ අය වගේ… මම දන්නවා මයිකල්ගෙ පවුලත් ඒ වගේ… අනික් අතට මට ඉන්නවා මයිකල්; මට ඉන්නවා කියොකි… ලලිත්ටයි නීලටයි කවුරුත් නෑ - ඒකයි මට දුක…”
නීලා මා පුදුම කරමින් කෙලේලට වහාම උත්තර දුන්නා.
“තැන්ක්යූ… මා ගැන දුක් වෙන්න එපා… මට බෝඩින්වල ජීවත්වෙලා පුරුදුයි… පවුල අමතකයි කියනවා නෙවෙයි - මේ වෙලාවෙත් මම හිතන්නේ මගෙ මනෝවිද්යා මොලෙන්… අපිට වෙලා තියෙන… අකරතැබ්බේ … හමුවේ අපි හැසිරෙන හැටි ගැන නොහිතා බෑ… සොරි… ඒක අනුකම්පාවක් නැති ආත්මාර්ථකාමී දෙයක් හැටියට පේනවනම්…”
නිහඬ තාවය වැඩි දුර යන්න මම ඉඩ දුන්නෙ නෑ.
“මම කිව්වනේ ආයෙ සොරි කතා බෑ කියලා… මමත් මගෙ පවුලේ අයට කිට්ටුයි. කෙලේලට වගේ ගමේ නෑදෑයෝ ගොඩක් නැතිවුනාට අපෙ පවුල හුඟක් කිට්ටුයි… එහෙම තිබිලත්… අම්මලා ගැන මම කොයි තරම් සිතුවත් දැන් ටිකකට ඉස්සර මගෙ ඔළුවට ආවේ පවුලේ අය නෙවෙයි… ආවේ සංගීතය - දැන් අපිට සදහටම නැතිවෙලා ගිහින් තියෙන සිංදු! ඒ කියන්නේ මට පිස්සුද?”
ඒකට උත්තර ආවේ මනෝවිද්යාකාරියගෙන්.
“ඒක පිස්සුවක් නෙවෙයි ලලිත්. හැම සිංදුවම යම්කිසි මතකයකට සම්බන්ධයි… සිංදුවේ වචනයි තාලයි ඇරුනුකොට ඒකට කිට්ටු මතක - ලලිත්ටම අයිති, පවුද්ගලික මතක තමා ලලිත් බුක්තිවිඳින්නේ”
“ලලිත්ට පිස්සු හැදිලා නැති එක ගැන මටත් සන්තෝසයි… තැන්ක්යූ. මම බලාගෙන ඉන්නේ හෙට ලලිත් එක්ක ගිහින් රස්සාවක් සොයාගන්න”
අපි සේරටම ඒකට හිනා ගියා. මට වඩාත් සතුටක් දැනුනේ මයිකලුත් මා වගේ විහිළුවෙන් කරදරකාරී අවස්ථා සැහැල්ලු කරගන්න උත්සාහ කරන කෙනෙක් ලෙස දැකීමෙන්. මට ඒ වෙලාවේ දැනුනේ අපිත්, යම් විදිහකට, එක පවුලක අය වගේ.
“නීලා සිංදුයි මතකයි ගැන කියනකොට මට තව දෙයක් හිතට ආවා … එක හරිම නිසල තැනක් - මගෙ විශේෂ …අ… මොලේ හිස් කරගන්න තැන. එතන සිංදු නෑ… කිසිම සද්දයක් නෑ වගේ. මම කොහෙ හිටියත් හිතට කරදරයක් දැනුන වෙලාවට සිතේ මවාගන්න තැන…”
“ලස්සන තැනක් වගේ ලලිත්… ඒ කොහෙද?”
කෙලේලා සුරංගනා කතාවක් අහන්න ලෑස්තිවෙන පොඩි කෙල්ලෙක් වගේ එහෙම ඇහුවේ.
“හිනා වෙන්න එපා ඔන්න! ඒ අපෙ ගෙදර ඉස්සරහ ඉස්තෝප්පුවේ … එහෙම කිව්වම ඒක විශේෂ නෑ. නමුත් අපෙ ගෙදර තියෙන්නේ වෙල්යායක ඉස්මත්තේ… අපේ ගම, ගලගෙදර පැත්ත කඳුකර නිසා අපි වී වවන්නේ බෑවුමක ටෙරස් වගේ ලියදි වල කෙලේලා - ගෙදර ඉස්සරහට ආවම දිගටම වෙල්යාය. අපෙ ගෙදර පාරෙනුත් අනික් ගෙවල් වලිනුත් ඈත නිසා කිසිම සද්දයක් නෑ - හරිම නිසංසලයි. ඒ ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ දිගාවෙලා මට පැය ගණනක් ඉන්න පුළුවන්… බොහෝවිට කිසිම දෙයක් ගැන නොහිතා… ටිකක් මෙඩිටේශන් වගේ…”
මං හිතන්නේ නීලට විතරයි යන්තමින්වත් මේක හිතේ මවාගන්න පුළුවන්. මගෙ ඇස් කඳුලින් පිරුන නිසාද කොහෙද කවුරුත් මොනවත් කිව්වෙ නෑ.
………………………………..
හෙට හවස මම කරන එක දෙයක් මට හොඳටම පැහැදිලියි. ඒක කරන්න ලේසි වෙන්නෙ නෑ නමුත් අඩුම වශයෙන් හවස බැරිවුනොත් රෑ කෑමෙන් පස්සේවත් මම ගෙදර ඉස්සරහ ඉස්තෝප්පුවේ හාන්සිපුටුවේ දිගාවෙලා වෙල් යාය දිහා බලාගෙන ඉන්නවා, අම්මයි නංගියි මල්ලියි මොනවා කිව්වත්!